Rata Wasiya

Rata Wasiya Blog

අරවින්දට පණ දෙන්න නොමැරී මැරුණු ආදරණීය රංගධරයා සනත් ගුණතිලක

සනත් ගුණතිලක කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාවට අති විශාල මෙහෙවරක් සිදු කරපු හරි අපූරු රංගන වේදියෙක්.ලාංකීය රිදී තිරයේ නොමැකෙන සටහන් සනිටුහන් කරමින් ඔහු දැක්වූ රංගනය නිසාම අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ ආදරයට නතුවීමට ඔහුට හැකියාව ලැබුණා.අතීතයේ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වූ සනත් ගුණතිලක අදටත් සිය කඩවසම් පෙනුම එලෙසින් ම රඳා පවත්වා ගෙන සිටිනවා.ඔහු රංගනයෙන් දායක වූ සියලුම සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ජනප්‍රියත්වයට පත් වුණා.දෙවෙනි ගමන,එකමත් එක රටක ,විරාගය,සිසිල ගිනි ගනී ආදී අතිශය විශිෂ්ට ගණයේ නිර්මාණ වලට දායක වූ ඔහු සැබවින්ම ඉතාමත්ම තාත්වික රංගධරයෙක්.ඒ වගේම තමයි ඔහුට ඉතා හොඳින් ගීත ගායනය කිරීමට ද හැකියාව තිබුණා.ඒ පිළිබඳව ඔහුගේ මතක අතරින් අතීතයට යන විට රසවත් කතාවක් තියෙනවා.

“ඒ කාලේ අග්‍රමාත්‍යවරයා ව සිටියේ ඩඩ්ලි සේනානායක මහතා.එතුමා පොල්ගොල්ල වේල්ල විවෘත කිරීමට එන බවත් ඒ සඳහා පිලිගැනීමේ ගීතයක් ගයන්න කිංස්වුඩ් විද්‍යාලයේ පස් දෙනෙක් තෝරා ගත් බවත් විදුහල්පතිතුමා පැවසුවා.මගේ සංගීත ගුරුවරයා ට එකපාරටම මාව මතක් වෙලා මට කියනවා සනත්, ඔන්න අගමැති තුමා පොල්ගොල්ල වේල්ල විවෘත කරන්න එනවා ඒ උත්සවයේ පිළිගැනීමේ ගීතය කියන පස් දෙනාට ඔයාගෙ නමත් තියෙනවා.ඉස්කෝලේ ඇරුනහම සංගීත පන්තියට එන්න කියලා.මං හිතන්නේ එතකොට මට අවුරුදු දහතුනක් විතර ඇති .මට එදා ජීවිතයේ අමතක නොවන දවසක්.එදා අගමැති තුමා උත්සවයට ආවේ කැමරාවක් කරේ දාගෙන දුම් පයිප්පයක් උරමින්.”

ඇත්තටම මගේ රංගනයට අවතීර්ණයත් හරි රසවත් අත්දැකීමක්.එක්තරා පුවත්පතක දැන්වීමක් තිබුණා නවක නළුවෙක් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට අවශ්‍යයි කියල.මගෙ වැඩියෙන්ම සිත් ගත්තේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා දැක්කහම.විජය ධර්ම ශ්‍රී කියන අධ්‍යක්ෂක තුමාගෙ දුහුල් මලක් චිත්‍රපටය මම ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු චිත්‍රපටයක්.ඉතින් එතුමා ගැන විශ්වාසය තියාගෙන තමයි මගේ මුදල් පසුම්බියේ තිබුණු පොඩි ඡායාරූපයක් අමුණලා ඉල්ලුම් පත්‍රයක් දැම්මෙ.කොහොමහරි මට කැඳවීමක් ලැබුණා.ඒ සම්මුඛ පරීක්ෂණයේ මං දන්න කෙනෙක්ට හිටියේ මාලනී ෆොන්සේකා විතරයි.ඒ දවස් වල මාලිනි කියන්නේ ජනප්‍රියත්වය ඉහළින්ම වැජඹුණු නිළියක්.කොහොම හරි මේ සම්මුඛ පරීක්ෂණයෙන් මම තේරුණා.ඉන්පසුව තමයි මගේ ප්‍රථම චිත්‍රපටය සිටු කුමරියෝ සඳහා රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණෙ.

විරාගය චිත්‍රපටය අරවින්ද කියන චරිතය ඇත්තටම මට අභියෝගාත්මක චරිතයක් වුණා.මාව අරවින්දගේ චරිතය ට තිස්ස අයියා තෝරාගැනීමේදී එක එක්කෙනාගෙ විවිධාකාර මතිමතාන්තර ආවා.ගොඩක් අය කිව්වා අරවින්දගේ චරිතයට සනත් සාධාරණයක් ඉටු කරයිද දන්නේ නැහැ.සනත් ලස්සන වැඩියි ඒ චරිතයට ආදී වශයෙන්.මම 1984 දෙසැම්බර් මාසයේ ඉඳලා මේ අරවින්ද චරිතයට කායිකවත් සූදානම් වුණා.මොකද අරවින්ද කියලා කියන්නේ අඩු වයසකදී එක්තරා පිළිකාවකින් මෙලොව හැර යන චරිතයක් .ඔහුගේ ඇත්ත වයස අඩු වුණාට ඔහුට තියෙන්න ඕන අවුරුදු හැටක විතර පෙනුමක්. ඉතින් ඒ අභියෝගය ජය ගැනීමට මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ආදරණීය පුත්‍රයා වන වෛද්‍ය රංගන වික්‍රමසිංහ මාව විශේෂඥ වෛද්‍ය නානායක්කාර මහතා වෙතට යොමු කළා .ඔහුගේ උපදෙස් අනුගමනය කරමින් මම ඒ චරිතය සඳහා කායිකව වඩාත් සූදානම් වුණා.චිත්‍රපටය ඉවරවෙලා ගෙදර ආවට පස්සෙ මගේ අම්මා මාව බදාගෙන ඇඬුවා මගේ පෙනුම දැකලා.මගේ පවුලේ වෛද්‍යවරයාත් මට හොඳටම දොස් කිව්වා සනත් ෆිල්ම් වල ඇක්ට් කරලා මැරෙන්නද යන්න කියලා.පස්සේ ඔහුගේ උපදෙස් මත මම නැවතත් සුපුරුදු තත්ත්වයට පැමිණුනා.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.

සනත් ගුණතිලක කියන්නේ ලංකාවේ සිනමා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ රංගධරයෙක්.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.