Rata Wasiya

Rata Wasiya Blog

දීර්ඝ ටෙලි නිර්මාණ අපට ප්‍රතික්ෂේප කරන්න බෑ ශ්‍රියා මල්කාන්ති ජයසිංහ

ශ්‍රියා මල්කාන්ති ජයසිංහ කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සිටින ඉතාමත්ම දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.ඇයගේ රංගන කෞශල්‍යය නිසාම ඇය ලබා ගත් ජයග්‍රහණ ද සම්මාන ද බොහොමයි.රිදී තිරයේ පුංචි තිරය මෙන්ම වේදිකා නාට්‍යවලින් ද රසිකයා පිනවීමට නිරතුරුවම උත්සාහ කරන ඇය මේ දවස් වල පාරදිගේ, පානාමංකඩ, අඳුන් ගිර, සැප්තැම්බරයේ දිග දවසක් ආදී ටෙලි නාට්‍ය ඔස්සේ අපට දැකගන්නට පුළුවන්.ඇයගේ කලා ගමනේ මූලික අඩිතාලම වන්නේ වේදිකා නාට්‍යයයි.

1983දී වේදිකා නාට්‍ය ඔස්සේ කලාවට පැමිණි ඇය සෝමලතා සුභසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංග පීඨයේ රංගනය හැදෑරීමට යොමු වුණේ කුඩා කල සිටමයි.ඉතින් රංගන ක්ෂේත්‍රය ඔස්සේ රසිකයන් නිබඳවම පිනවන ඇය පිළිබඳව අපි කතා කරන්න සිතුවා.ඇය ඇගේ කතාවට මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“මම 1983 වසරේ අග භාගයේ ඉඳන් තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ.පුංචි අපිට දැන් තේරෙයි ,මුහුදු පුත්තු, හිම කුමාරි, හිරු නොදුටු මිනිස්සු,දෝන කතිරිනා,මකරාක්ෂයා ,රතු මඟුල් කපුවා, විකාරම හැන්දෑව, තාරාවි, මාරක ළිඳේ සවාරියක් ආදී බොහෝ වේදිකා නාට්‍ය ඔස්සේ මගේ රංගන කුසලතාව දැක්වීමට මට හැකියාව ලැබුණා.ඒ වගේම තමයි වේදිකාවේ දී මා දැක්වූ දැක් වූ දක්ෂතාවය නිසාම 1995 දී දෝනකතරිනා නිර්මාණයට හොඳම නිලිය සම්මානයත් 2012 දී තාරාවී නාට්‍යයට හොඳම නිළිය නිර්දේශිත නාමයන් තුන අතරටත් 2015 දී මාරක ළිඳේ සවාරියක් නාට්‍ය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානයත් හම්බුනා .ඇත්තටම ඒවා මතක් වෙද්දි හිතට දැනෙන්නේ හරිම ආඩම්බරයක්.ඒ වගේම තමයි මට ගොඩක් ප්‍රවීණයො එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා.ඒකත් මං හිතන්නේ මගේ වාසනාවක් කියලා.

එදා මෙදා තුර හොඳ නරක සැසදීමට අපහසුයි.මොකද 70 – 80 දශකයේ සිනමාව තුළ ඇත්තටම යම්කිසි වර්ධනයක් දියුණු තාවයක් සාර්ථකත්වයක් තිබුණා.නමුත් 90න් පසුව සිනමාවේ යම් කිසි බිද වැටීමක් ඇති වුණා.ඒක මම පිළිගන්නවා.නමුත් ඒ කාලේ තරුණ තරුණියන්ට තිබුණු දේවල් අද කාලේ නෑ කියන්න බැහැ.මොකද ඒ කාලය සහ මේ කාලය සසඳන්න අමාරුයි.මොකද දැන් තියෙන නව තාක්ෂණයත් එක්ක අපට නොලැබුණු ගොඩක් දේවල් දැන් දරුවන්ට ලැබිලා තියෙන්නේ.මට කවදාවත් අවර ගණයේ දරුවන් මුණගැසී නැහැ.සියලුම තරුණ දරුවන් එක්ක මම හරිම ආදරණීයව සුහදශීලීව තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ.

අද කාලේ ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි නිර්මාණයක් දීර්ඝ උනහම ඒ කතා සංකල්පය පිලුණු භාවයට ලක්වෙනවා කියල.මම හිතන විදියට ඒක තීරණය වෙන්නේ රචකයා සහ අධ්‍යක්ෂකවරයා මත.දීර්ඝ නිර්මාණ අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ.මොකද ලෝකයේ ඕනෑම තැනක ඒ වගේ නිර්මාණ බිහිවෙනවා.වෙනස තියෙන්නෙ ඒ නිර්මාණය රසිකයාව කොතරම් ඇද බැද තබා ගන්නවාද කියන දේ මත.එය ගොඩනැගීමේ දක්ෂතාවය රචකයාට සහ අධ්‍යක්ෂකවරයාට තමයි තියෙන්න ඕන මම දකින විදිහට නම්.එතකොට ප්‍රේක්ෂකයෝ ආදරයෙන් ඒ නිර්මාණ රස විඳිනවා.” කියලා තමයි ඇය පවසා සිටියේ.ශ්‍රියා මල්කාන්ති ජයසිංහ කියන්නේ ප්‍රතිභාපූර්ණ සම්මානනීය රංගන රංගන වේදියක්.ඉතිං ඇයගේ සියලුම කලා නිර්මාණ කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.