Rata Wasiya

Rata Wasiya Blog

ඖෂධ අධිකාරියේ පනතට විරුද්ධව දත්ත පුද්ගලික සමාගමකට දුන් හැටි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා ලංකාවේ ඖෂධ වර්ග, ඖෂධ මිලදී ගැනීම් වගේම ඖෂධ ලබාදෙන සමාගම්වල ලියාපදිංචිය ඇතුළු අතිශය වැදගත් කටයුතු රාශියක් සිදුවෙනවා. මෙහි සුවිශේෂී දත්ත රාශියක් ඇතුළත් තිබුණු අන්තර්ජාල දත්ත ගබඩාවෙන් දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේ මැකී යන්නේ පැදුරටත් නොකියයි. මේ දත්ත ගැන සම්පූර්ණ වගකීම පැවරිලා තිබුණේ පුද්ගලික දුරකථන සමාගමකට. ඔවුන් 2017 දී ඉදන් අධිකාරිය සමග සමීපව කටයුතු කරනවා. නීති විශාරදයන් පෙන්වා දෙන විදියට මේ අධිකාරිය සතුව තිබෙන තොරතුරු හා දත්ත ආරක්ෂා කරන්න මෙහි කාර්යමණ්ඩලය වගේම ඊට සම්බන්ධ තෙවැනි පාර්ශ්වත් වගකියන්න ඕන. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ දක්වලා තියෙන විදියට අධිකාරියේ තොරතුරු වල රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දිය යුතුවෙනවා. මේ අධිකාරියේ සේවය කරන්නේ වගකිවයුතු රාජ්‍ය නිළධාරීන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියන විදියට මාසයකට මිලියනයකට අධික දීමනා මොවුන්ට ලැබෙනවා. එතකොට මේ දත්ත මැකී යනතෙක් මේ නිලධාරීන්ගේ වගේම ඊට ඍජුවම මැදිහත් වියයුතු පුද්ගලික සමාගමේ ඇස් කන් පියවිලා තිබුණද කියන කාරණය මේක කියවන ඔබට හිතෙන්න පුළුවන්. මේ දත්ත මැකීයාමට සම්බන්ධ ඍජු චෝදනා එල්ල වී තිබෙන පෞද්ගලික සමාගමට වගේම එහි කාර්‍ය මණ්ඩලයට අද වනතෙක් නිතීමය ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ මගඩියට මාස 3 ක් ගතවී ගිය තැන තත්වය මෙහෙම නම් මේ කුමන්ත්‍රණයට වගකිවයුත්තන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වීමත් ප්‍රශ්නයක් බව නීති විශාරදයන් කියනවා.