Rata Wasiya

Rata Wasiya Blog

දුවයි පුතයි මහත්තයයි තුන්දෙනාම දිය සුළියට නොපෙනී ගිය වැල්ලවාය හෑඩවු කතාව

වැල්ලවාය ඇලේවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනකු මිය යාම සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් මිය ගිය දරුවන්ගේ මව මෙසේ කීවාය.දිය ඇල්ලට නාන්න ගියේ මේ තුන් දෙනා විතරයි. මම ගල උඩ ඉඳන් බලාගෙන හිටියා. පුතා එක සැරේම දිය සුළියක් වගේ ඇවිල්ලා ඇදගෙන ගියා. එතකොටම මහත්තයා පුතා බේරා ගන්න වතුරට පැන්නා. තාත්තා ඒ සුළියට අහුවුණා. තාත්තා ගියාම දුවත් සුළියට අහුවෙලා ගියා. තුන්දෙනාම හොයා ගන්න බැරී වුණා. මම කෑ ගැහුවා එතකොට නාන්න ආපු අය තුන් දෙනා හොයා ගන්න උත්සාහ කළත් ඒ අය බය වුණා

මෙසේ මිය ගියේ නව කාත්තන්කුඩි 2 ලිපිනයේ පදිංචි මොහොමඩ් කාසිම් මොහොම්මදු නියාස් (38) මොහොම්මදු සහීඩ් (15) මොහොම්මදු නියාස් ෆාතිමා යසිමා (11) යන තිදෙනාය. මෙම මරණවලට අදාළ හදිසි මරණ පරීක්ෂණය වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් මොනරාගල මූලික රෝහලේ දී ඊයේ (21) සිදු කරනු ලැබූ අතර වැඩිදුරටත් සාක්ෂි දෙමින් ෆාතිමා රිෆ්නා (33) මහත්මිය මෙසේ ද කියා සිටියාය.

අපට එක පුතයි, දුවල තුන් දෙනයි ඉන්නවා. අපි කුලියට වාහනයක් අරගෙන කොළඹ ගියේ 14 වැනිදා. ඒ ගිහිල්ලා එන ගමන් වැල්ලවායට ආවා. එහිදී තමයි මේ ඇල්ල බලන්න යමු කියලා දරුවන් කිව්වේ. එතකොට වෙලාව සවස 4.04 ට විතර ඇති. ඒ ඇවිල්ලා අපි කවුරුවත් නාන්න ගියේ නෑ. දරුවන්ගේ තාත්තයි පුතයි, දුවයි තමයි නාන්න ගියේ. අපි ගල් උඩට වෙලා නාන දිහා බලාගෙන හිටියා. වැලි තලාවේ මම හිටියේ. වැල්ලේ නාමින් හිටපු පුතා එක සැරේ දිය සුළියක් තිබිලා අහුවුණා. මහත්තයා එය බේරගන්න ගියා. එතන වැඩි කට්ටිය හිටියේ නෑ. සැමියා දියවල පැත්තට යනවා දැක්කා, සැමියා එක්ක දුවත් ගියා.

දුව ඒ වෙලාවේ දිය සුළියකට අසු වී කරකැවිලා යට යනවා දැක්කා. ඊට පස්සේ එයා බේරා ගන්න පුතා ගියා. ඒ වෙලාවේ පුතා ඒකට අහුවුණ ඒ දෙන්නා බේරා ගන්න සැමියා ගියා. එතකොට තුන් දෙනාම නොපෙනී ගියා. මම හයියෙන් කෑ ගැහුවා. ඒ සද්දෙට පිටින් ඇවිල්ලා හිටපු අය ඇවිත් ඇහුවා ඇයි කියලා . දරුවො වතුරේ ගිලුණා කිව්වාම ඒ අය ගිහින් බැලුවත් හොයා ගන්න බැරි වුණා. වෑන් එකේ ආපු මොහොමඩ් දිය සුළියට අහු වෙන්න ගියත් එයා බේරිලා ගොඩට ආවා. කෑ ගහලා තියෙනවා නාන්න ආපු අය පිරිසක් ආවා.

ඒ අය හොයා ගන්න බැලුවා. පස්සේ මට ගමේ අයට ඇහිලා කීප දෙනෙක් ආවා. ගමේ අය තුන් දෙනෙක් අපි හොයලා බලලා ගන්නම් කිව්වා. ඒ අය පොලිසියට කියලා පොලිසිය ආවට පස්සේ ගමේ අය ඇවිල්ලා දියේ ගිලුන අය ගොඩ ගත්තේ. මම ඇහෙන් දැක්කා මේ අය දිය සුළියට අහු වෙලා මිය යනවා,

යැයි ඇය කියා සිටියාය. මීට සති දෙකකට පමණ පෙර මෙම ස්ථානයේ තරුණයෙක් දියේ ගිලි මියගිය අවස්ථාවේ මෙම අනතුරුදායක ස්ථානය සම්බන්ධයෙන් කඩිනමින් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න ද එය නොසලකා හැරීම සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බවත් එය නොසලකා හැරීම හේතුවෙන් සති දෙකක් ගත වීමටත් මත්තෙන් තවත් තිදෙනකුගේ ජීවිත අහිමි වූ බවත් හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා උපදෙස් දුන් අතර සාක්කි සිංහලෙන් පරිවර්තනය කිරීම වැල්ලවාය මුස්ලිම් පල්ලියේ පුජක එම්.ඒ.අයි. අමින් මොහොමඩ් පූජක තුමා විසින් කරනු ලැබීය.

අයි.ආර්. ඉන්දික